August 25, 2017

හදිසි හෘදයාබාධ මරණ වැලැක්වීමට පෙනහළු සීත කිරීම

හෘදවස්තුව නැවතී විනාඩි 5 ක් වැනි ඉතා සුළු කාලයකින් නැවත ක්‍රියාත්මක වීම ආරම්භ නොවුයේ නම් මොළයට පිළිසකර කළ නොහැකි හානි සිදුවීම ආරම්භ වේ. එහෙත් නව පර්යේෂණයක් අනුව පෙනහළු උණුසුම හුවමාරු කරන්නෙකු ලෙස භාවිතා කර රුධිරය සීත කිරීම මගින් මොළයට හානි සිදුවීමේ ආරම්භය ප්‍රමාද කළ හැකි බව වාර්තා වේ.

හෘදවස්තුව ආසන්නයේ සිදුවන මෙම සීත කිරීම සම්බන්ධ නව තාක්ෂණයෙන් ශරීරය වේගවත්ව සීතල කොට ශක්තිය ඉතිරි කිරීමක් සිදු කරයි.

උෂ්ණත්වය පහළ බසින විට රසායනික ක්‍රියාවලි වේගය අඩුවේ. මෙලෙස ශරීරයේ උෂ්ණත්වය බොහෝ ලෙස පහළ ගිය විට  hypothermia රෝගී තත්වයට පත්වෙන බැවින් ප්‍රමාණය ඉක්මවා ශරීරය සීතල වීම  නුසුදුසුය. ශරීරයේ රසායනික ක්‍රියාවලි නැවතීම සහ ශරීරය දැඩි ලෙස සීතල වීම ජිවවිද්‍යාත්මකව මරණයට හේතුවක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලැබේ.

එහෙත් හදිසි හෘදයාබාධ (heart attack) වැනි මරණිය අනතුරකට බොහෝ සමීප අවස්ථාවකදී මෙලෙස ශරීරය වේගවත්ව සීත වීම ජිවිත රැකගැනීමට හේතුවේ. එනම් hypothermia නම් භයානක රෝගී තත්වයද සමහරවිට ජිවිත ආරක්ෂා කරදීමට ප්‍රයෝජනයට ගත හැකි බව නියමු පර්යේෂක Renaud Tissier පවසයි.

නව තාක්ෂණය ක්‍රියාවට නැංවීම සදහා Tissier හා ඔහුගේ කණ්ඩායම මිනිත්තු කිහිපයකදී ශරීර ශිතායන උෂ්ණත්වයකට පත් කිරීමට හැකි යන්ත්‍රයක් නිපදවා තිබේ. නව යන්ත්‍රය පෙනහළු තුලට ශීතකළ ද්‍රව ක්ෂණිකව පොම්ප කරයි. එවිට ශරීරය සීතල වී hypothermia තත්වයට පත්ව ශරීරය තුළ සිදුවන කාර්යයන් සදහා වැයවන ශක්තිය ඉතිරි කිරීමක් සිදු කරයි. එමගින් හෘදයවස්තුව නැවතුන පසු මොළය අක්‍රියවීම ආරම්භ විමට ගතවන කාලය වැඩි කරයි. එම කාලය මොළය ආරක්ෂා කර ගනිමින් රෝගියා සුවපත් කිරීමට අතිශය ලෙස ප්‍රයෝජනවත් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment