September 15, 2017

පරිගණක කේත විසදුමට $ මිලියනයක ත්‍යාගයක්

“Queen Puzzle” නමින් ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේලිකාවක් විසදීමට සුදුසු කාර්යක්ෂම ,පහසු හා වේගවත් පරිගණක කේත (computer code) නිර්මාණය කළ හැකි නම් ඒ සදහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදීමට සුදානම් බව Mail Online / Science Tech සඟරාව වාර්තා කර තිබේ. St Andrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි එවැනි පරිගණක කේතයක් සකස් කළ හැකි නම් එමගින් තොරතුරු තාක්ෂණ සේවය සම්පුර්ණයෙන්ම වෙනසකට භාජනය කළ හැකිය. ඒ සදහා ඇමෙරිකාවේ Clay Mathematics ආයතනය මගින් $ මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවද එම වාර්තාවේ සදහන් වේ.

 Queen Puzzle” චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේළිකාවකි. 8x8 චෙස් පුවරුවක Queen (රැජිණ) ඉත්තන් 8 ක් එකිනෙකාට ප්‍රහාර එල්ල කළ නොහැකි ලෙස ස්ථාන ගත කළ යුතුය. මෙය චෙස් පුවරුවේ ප්‍රමාණය විශාලවීම සහ ඒ අනුව වැඩිවන රැජිණ ප්‍රමාණය සදහාද නිවැරිදි විය යුතුය. එනම් කිසිදු රැජිණ ඉත්තන් දෙදෙනෙකු එකම තීරුවක (column), එකම පේළියක (row) සහ එකම විකර්ණයක (diagonal) පිහිටිය නොහැකිය.

මෙම ගැටලුව සදහා පළමු විසදුම 1850 දී එනම් බොහෝ කාලයකට පෙර ඉදිරිපත් වී ඇති අතර වර්තමාන චෙස් ක්‍රීඩකයෙකුටද විසදිය හැකිය. එනමුත් ඒ සදහා නිර්මාණය වූ සියලු පරිගණක ක්‍රමලේඛන (කේත) චෙස් පුවරුවේ ප්‍රමාණය (කොටු ගණන) විශාල වු විට කාර්යක්ෂම ,පහසු හා වේගවත් නොවේ. එනම් විශාල චෙස් පුවරුවක් සදහා එම පරිගණක ක්‍රම ලේඛන ක්‍රියාකාරිත්වය තවදුරටත් පහසු  නොවේ.

facebook (මුහුණු පොත) පාඨකයන් අතර මේ සදහා උනන්දුවක් පවතින අතර නිවැරිදි පරිගණක ක්‍රමලේඛනයක් නිර්මාණය කළේ නම් එය බොහෝ පරිගණක ගැටළුවලටද පිළියම් ලෙස භාවිතා කළ හැකි බව මාහාචාර්ය Ian Gent පවසා තිබේ. නිවැරිදි සැකසුම් සහිත ස්ථාන ගත කිරීම් 92 ක් මිනිසුන් විසින් සොයා ගෙන තිබේ (සැකසුම් අවස්ථා 4,426,165,368 කින්). ඉන් විසදුම් කිහිපයක් රුපයෙන් දැක්වේ.  8x8 ප්‍රමාණයට වඩා වැඩි මාන සහිත පුවරු සහ ඒ අනුව වැඩි රැජිණ ඉත්තන් සදහා විසදුම් සෙවීම පරිගණකයටද විශාල අභියෝගයක් වී තිබේ. 
  
උදාහරණයක් ලෙස 27 x 27 ප්‍රමාණයේ චෙස් පුවරුවක රැජිණ ඉත්තන් ගැටලුවේ පරිදි ස්ථාන ගත කිරීම් සදහා සැකසුම් අවස්ථා 234,000,000,000,000,000 (234x1015 /ක්වඩ් ඩ්‍රිලියන 2.34) ක් පවතියි. මේනිසා මෙහිදී පරිගණකය සාමාන්‍යයෙන් අනුගමනය කරන සියලු සැකසුම් පරික්ෂා කිරීමේ ක්‍රමවේදය ඉතා අපහසු ක්‍රමයක් බවත් නව අධ්‍යනයක් අනුව 1000x1000 ප්‍රමාණයේ චෙස් පුවරුවක රැජිණ ඉත්තන් 1000 ක් ස්ථාන ගත කිරීමේදී පරිගණකය පතුලක් නොපෙනන ගණනය කිරීමේ අගාදයකට ඇද වැටෙන බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
http://www.dailymail.co.uk/sciencetech/article-4840716/Crack-Queens-Puzzle-win-1-million-prize.html

0 comments:

Post a Comment