September 26, 2017

දියනොවන අයිස්ක්‍රීම්

දරුවන් බොහෝ ප්‍රිය කරන පොප්සිකල් අයිස්ක්‍රීම් ඉක්මනින් දියවීම නිසා එය සිත්සේ රසවිදීම හා පිරිසිදුභාවය පිළිබද අපහසුතා ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මෙම තත්වය වෙනස් කිරීමට සමත් දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් නිපදවීමට ජපානයේ ඉංජිනේරුවන් පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ. විශේෂත්වය නම් ඒ සදහා දායක වී ඇත්තේ වසර 6 කට පෙර ජපානයේ සිදුවූ සුනාමි හා භුකම්පනයන්ය.

ජපානයේ Kanazawa (කනසාවා) නගරයෙහි පිහිටි ජෛවචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානය (Bio-therapy Development Research Center) මගින් සංවර්ධනය කරන ලද නව අභිජනක පොප්සිකල් අයිස්ක්‍රීම් දැඩි උණුසුම් දිනයකදී පවා දිය නොවන බව වාර්තා වේ. ස්ට්‍රොබරි (strawberry) වලින් ලබාගන්නා polyphenol (පොලිෆෙනොල්) දියරය භාවිතා කර නව දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් සකස් කර තිබේ.

ජපානයේ Asahi Shimbun පුවත් පත වාර්තා කරන අන්දමට මෙය අහඹු සොයා ගැනීමකි. 2011 වසරේදී Tohoku හි හටගත් සුනාමි සහ භූමිකම්පා ව්‍යසන නිසා Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයේ උණුවී දියවීයාම් බහුල ලෙස සිදු විය. එමගින් විපතට පත්වූ Miyagi ප්‍රාන්තයේ ගොවීන්ට උපකාර කිරීමේ වැඩසටහන් මෙම නව නිෂ්පාදනයට හේතුවී තිබේ. සුනාමි හා භුමිකම්පන ව්‍යසනයෙන් ස්ට්‍රොබරි ගොවිතැන ප්‍රධාන කොට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම පාහේ අඩපන විය. ස්ට්‍රොබරි කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ස්ට්‍රොබරි වලින් ලබා ගන්නා polyphenol යොදා ගනිමින් නව රසකැවිලි නිෂ්පාදනය කරන මෙන් ප්‍රදේශයේ දක්ෂ කෝකිවරයෙකුට ආරාධනා කළේය.

මෙම කාර්යයේදී ඔහු නිෂ්පාදනය කරන ක්‍රිම් වර්ග සදහා polyphenol එකතුකළ විට ඒවා ක්ෂණිකව ඝනීභවනය වන බවට කෝකියා නිතර කළ පැමිණිල්ල සැලකිල්ලට ලක්කළ Kanazawa විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබද විශ්‍රාමික මහාචාර්ය Tomihisa Ota දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් නිපදවීම සදහා එම ක්‍රමය භාවිතා කර තිබේ. දියනොවන අයිස්ක්‍රීම් නිෂ්පාදනය මිට පෙර එක්සත් රාජධානියේ අයිස්ක්‍රීම් ප්‍රවර්ධන වැඩසටහනකදී ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/lfGoE242KEg?t=5

0 comments:

Post a Comment