October 2, 2017

පොලිතීන් තහනම

පොලිතීන් තහනම
පොලිතීන්නිෂ්පාදන ප්‍රධාන වශයෙන් වර්ග 2ක් ඇත. එනම් High Density polyethylene (HDPE) සහ Low Density polyethylene (LDPE) ලෙසය. පොලිතීන් බහු අවයවකයක් වන අතර  එය පොලිඑතිලින්  ලෙස හදුන්වන දිගු දාමවලින් යුක්තය. එතිලින් ස්වභාවික වායු සහ පෙට්‍රෝලියම්වලින් හටගනී. මෙම පොලිතීන් බෑග් නිෂ්පාදනයේදී වර්ණ ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය එකතු කරනු ලබයි.  
ප්‍රතිචක්‍රීකරණය කළ හැකි පොලිතීන් ලෙස හඳුන්වනු ලබන ජෛවහායනයට ලක්වන පොලිඑතිලින් දාම හෝ පොලි ලැක්ටික් ඇසිඩ් ජීර්ණය විය හැකි ලැක්ටික් අම්ලයෙන් හට ගන්න පොලිමර් ආකාරයකි. මේවා ක්ෂුද්‍ර ජීවීන් මගින් ජීර්ණය වීමේ හැකියාව ඇත.
පොලිතීන්,ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම ක්‍රමවත් ලෙස සිදු නොවීම නිසා වායුගෝලය, සාගර, මුහුදු, සහ මිරිදිය ජලාශවල සිට ගොඩබිම පරිසරය දක්වාම බලපා ඇති පාරිසරික දුෂණය අතිමහත්ය. ඒ අතර, ජෛව පද්ධති විනාශවීම, කාණු පද්ධති අවහිරවීම නිසා ඇතිවන ඩෙංගු වැනි වසංගත තත්ත්ව, ක්ෂණික ජල ගැලීම්, විවිධ බැර ලෝහ සහ රසායනික ද්‍රව්‍ය පරිසරයට බැහැරවීම සහ ඉන් ඇතිවන රෝගාබාධ සඳහන් කළ හැකිය. ප්ලාස්ටික්/පොලිතීන් බොහෝ ඒවා ජෛව හායනයට ලක් නොවන අතර ඒවා හිරුඑළියට නිරාවරණය වූ විට හිරු එළිය මගින් ප්ලාස්ටික් පොලිමර්ස්වල බන්ධන දුර්වල වී කුඩා කොටස්වලට කැඩෙයි. එසේම Biophenol A නමැති රසායනිකය පිටවේ.
ශ්‍රී ලංකවේ පොලිතින් හා ප්ලාස්ටික් මගින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නිසි පරිදි කළමණාකරණය කිරීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමට පත්කල විද්වත් කමිටුවේ යෝජනාවලට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව කෙටි කාලීන ක්‍රියාකාරකම් වලට පහත කරුණු ඇතුළත් කර ඇත.  
සියළුම ආගමික සමාජීය හා සංස්කෘතික හා දේශපාලන උත්සව සැරසිලි සඳහා පොලිතීන් තහනම් වේ
මයික්‍රෝන 20ට සමාන හෝ අඩු පොලිතීන් භාවිතයේ තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.
ලන්ච් ෂීට් භාවිතය, ආනයනය, නිෂ්පාදනය හා විකිණීම තහනම් වේ
පොලිස්ටයිරීන් අමුද්‍රව්‍ය යොදා ගන්නා ආහාර ඇසුරුම් පෙට්ටි පිගන් කෝප්ප හැදි නිෂ්පාදනය විකිණීම හා භාවිතය තහනම් වේ. 
පොලිතීන්වලින් සාදන ලද කවරවල බහා සකසන ලද හෝ පිසූ ආහාර විකිණීම තහනම් කරේ. 
විවෘත පරිසරයේ පොලිතීන් ප්ලාස්ටික් පිලිස්සීම තහනම් වේ. 

රජය මගින් ප්‍රකාශයට පත්කළ ඉහත සඳහන් ක්‍රියාකාරකම් වඩා කාර්යක්ෂමව සිදුවීමට නම් පොලිතීන්,ප්ලාස්ටික් නිෂ්පාදන සහ අලෙවිකරුවන්හට ක්‍රමවත් විකල්ප මාර්ග හඳුන්වා දිය යුතුය. එසේම පන්, වේවැල්, කෙසෙල් පට්ටා, රෙදි බෑග්,මලු සඳහා නව නිෂ්පාදකයන් සහ දැනට ඒ සඳහා යොමුවී ඇති කර්මාන්තකරුවන් දිරි ගැන්වීම කළ යුතුය. පරිසර හිතකාමී බෑග් නිෂ්පාදනය සඳහා නව වෙළඳපළක් ඇති කළ යුතුය. තවද, ප්‍රතිචක්‍රීකරණය සඳහා දිරි දීමක් ලෙස එයට බදු සහන ලබා දිය යුතුය.   
අන්තර්ජාලයේ පල වූ ලිපි ඇසුරිනි.
පී.ඩී.පී.ධනසේන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී අඹන්ගගකෝරළේ

1 comments:

Post a Comment