November 13, 2017

එදා හෙලයන්ගේ රස නහර පිනවූ හත්මාළුව

හත්මාළුව යන වචන ඇසු පමණින් අපට සිහිවන්නේ මාළු හතක් (ව්‍යංජන) යන අර්ථය වේ. නමුත් එහි සැබෑ අරුත නම් අංග හතකින් සැකසුණ ආහාරය යන්නයි. අපේ මුතුන් මිත්තන් අහස උසට දාගැබ් බැන්දහ. මහ සයුර වැනි වැව් ඇල වේලි සැකසූහ. කළු ගල්වලට ජීවය ලබා දුන්හ. ශිෂ්ඨාචාරයන් ගොඩ නැංවූ දස මහයෝධයන් බිහි වූ ලක් පොලවේ ඔවුන් දීර්ඝායුෂ ලැබූහ. ඊට හේතු වූ ප්‍රධාන කරුණු අතර ආහාර රටාවට ප්‍රමුඛස්ථානයක් විවාදයකින් තොරවම ලැබෙනු ඇත. එම සරල ආහාර රටාවට එක්වූ හත්මාළුව වර්තමානයේ අපේ ආහාර රටාවටද එක්කර ගැනීම කෙතරම් දුරට සාර්ථක වේදැයි විමසා බලන්න. එම අංග හත නම්

01        හොද්ද -          
එදා අපේ මුතුන් මිත්තන් ආහාර ගන්නා අවස්ථවේ හෝ ඊට පෙර හොද්දක් පානය කිරීම දක්නට ලදී. මස්වර්ග, කොලවර්ග සහ කුළු බඩු ආදිය ඊට ඇතුලත් වූ අතර වර්තමානයේ ද දක්නට ලැබෙන තැම්බුම් හොද්ද ද  මීට අයත් වේ.
02        ඇඹුල   -          
 පුහුල්, දියලබු, අලකොල වැනි පලා වර්ගයක් යොදා සකස්කල ආහාරයකි. ඉන් ආහාර රුචිය වඩවන බවක් පෙනෙන අතර ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබේ. මේවා සකස් කරන අතර ගොරක වැනි දේ එක් කරයි. මාළු ඇඹුලද මීට අයත් වේ.
03        තියඹලාව        
පුහුල්, කැකිරි, මුං ඇට, කොල්ලු, මියන දළු, කැරම් දළු, මැඩ දළු, ගස්ලබු, කෙසෙල් බඩ වැනි දෑ තියඹලාව සඳහා යොදා ගනී. එයට සහල්, පොල්, ගම්මිරිස්, අබ, හීන්දුරු ආදිය අඹරා එක්කර පිස ගනී.
04        ගොඩමස්        
අවට පරිසරයෙන් හෝ වනයකින් සොයා ගන්නා මස් වර්ග සහ හතු වර්ග මෙයට අයත් වේ.   
05        දිය මස්            
මිරිදිය හෝ කරදිය මාළු වර්ග අයත් වේ.
06        බැදුම               
කබලේ බැදීම හා තෙලේ බැදීම ලෙස දෙයාකාරයකින් මෙම බැදුම දැක්විය හැක. තෙලේ බදින විට තෙල් දැමීම හා ගැඹුරු තෙලේ බැද ගත හැකිය. විවිධ ඇට වර්ග, විවිධ එලවළු වර්ග, මස් මාළු වර්ග, ආදිය මෙසේ බැදුමට එක්කර ගත හැකිය.
07        මැල්ලුම    
 ගෙවත්තෙන් නෙලාගත් නැවුම් කොල වර්ග මෙයට යොදා ගනී. ඊට  අමතරව පොල් මැල්ලුම, කෙසෙල් මුව මැල්ලුම, අටුකොස්, දෙල් අටුකොස්, තිබ්බටු, දියබෙරලිය, හබරල, ලපටි ගස්ලබු ආදියද භාවිතා කරයි
ඉහත හත්මාළුව පිළිබද විමසා බැලූවිට වර්තමානයේ වෛද්‍යවරුන් ලබාදෙන සමබල ආහාර වේලක් පිළිබඳ උපදෙස් හා මනාලෙස ගැලපෙන ආහාර රටාවක් අපේ මුතුන් මිත්තන් අනුගමනය කර ඇත. සිරුරට අවශ්‍ය සියළුම පෝෂණ සංඝටක එහි අඩංගු වූ අතර මස් මාළු ගැනීමේදී වුවද ඔවුන් තුල මනා සංයමයක් හික්මීමක් දක්නට ලැබේ. වර්තමානයේ මෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රොල් වැනි බෝ නොවන රෝග කිසිවක් ඔවුන්ට වැළඳෙන්නේ නැත. ඒ ඔවුන්ගේ නිවැරදි ආහාර රටාව සහ සිරුරට ලැබෙන ව්‍යායාම මගිනි. මෙවැනි ආහාර රටාවක් නිසා රෝග වැළඳීම අඩුවන අතර ශක්ති සම්පන්න, නිරෝගි වැඩි ආයුෂ ලබන ජනතාවක් බිහිවීමට අවස්ථාව ලැබෙනු ඇත.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
කටුවන.

0 comments:

Post a Comment