December 12, 2017

මහා පරිමාණ භූමිකම්පා අවදානම ඉහළට?

පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවීම නිසා ඉදිරි 2018 වර්ෂය තුළ දී මහා පරිමාණ භූමිකම්පා වල ඉහල යෑමක් සිදු වනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති.ඒඅනුව 2018 වර්ෂයේ දී මහා පරිමාණ භූමිකම්පා අවදානම ඉහළට?


ක්‍රි.ව. 1900 සිට මේ දක්වා සිදු වී ඇති භූමිකම්පා පිළිබඳව සැලකිල්ලට ගැනීමෙන් මෙම උපකල්පනය ඉදිරිපත් කෙරී ඇත.

ඇතැම් කාල වල දී පෘථිවයේ භ්‍රමණ වේගය ඉතා සුළු ප්‍රමාණයකින් අඩු වන අතර එමඟින් මිලි තත්පර කිහිපයක් වැනි ඉතා කුඩා කාල පරාසයකින් දවසක කාලය දීර්ඝ කරනු ලැබේ. මින් සාමාන්‍ය එදිනෙදා මිනිස් ක්‍රියාකාරකම් වලට කිසිදු බලපෑමක් සිදු නොවන තරම්ය.

කෙසේ වෙතත් විද්‍යාඥයින් පවසන පරිදි, ක්‍රි.ව. 1900 සිට සෑම වසර 32 කට වරක් MMS (Moment Magnitude Scale) පරිමාණයේ ඒකක 7.0 ට ඉහළ භූමිකම්පා වල සුළු වැඩවීමක් සිදු වී ඇති අතර මේ හා සම්පාත වී ඇති ප්‍රධාන භූ විද්‍යාත්මක සංසිද්ධිය වන්නේ පූර්ව වසර 5 ක කාලයක් තුළ පෘථිවියේ භ්‍රමණ වේගය අඩුවීම යි.

පසුගිය වසර 4 ක කාලය තුළ පෘථීවියේ භ්‍රමණ වේගය අඩු වී ඇති අතර පෙර දත්ත හා සසඳා බැලීමේ දී  2018 වර්ෂය තුළ දී මහා පරිමාණ භූමිකම්පා වල ඉහළ යෑමක් සිදු වනු ඇති බවට විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

සාමාන්‍යයෙන් වසරකට මහා පරිමාණ භුම්කම්පා 15 – 20 ක් අතර ප්‍රමාණයක් සිදු වන අතර 2018 දී එය 25 -30 අතර අගයක් කරා ඉහල යනු ඇතැයි උපකල්පනය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ භූ තල මායිමක් සමීපයේ නොවන බැවින් සැලකිය යුතු තරම් මහා පරිමාණ භූමි කම්පා අවදානමක් මෙරටට නොමැත.  නමුත් ඉන්දුනීසියාව ආශ්‍රිතව පිහිටා ඇති භූමිකම්පා සක්‍රිය කලාපයේ සිදු වන මහා පරිමාණ භුමි කම්පාවකින් ශ්‍රි ලාංකාවට සුනාමි අවදානමක් ඇති විය හැකිය.

මීට පෙර 2004 වර්ෂයේ ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, හා තායිලන්තය ඇතුළු රටවල් 14 කට පමණ දැඩි විනාශයක් සිදු කළ සුනාමිය ඇති වූයේ ද එම කලාපයේ සිදු වූ MMS  පරිමාණයේ ඒකක 9.1-9.3 ත් අතර මහා භුමිකම්පාව හේතු කොටගෙනය.  
   
විද්‍යා හා තාක්ෂණ නිලධාරි - කැස්බෑව

0 comments:

Post a Comment