December 7, 2017

අභ්‍යවකාශය තුල ජීවයේ පැවැත්ම

අභ්‍යවකාශය තුල ජීවයේ පැවැත්ම හෙවත් අභ්‍යවකාශය තුල මිනිසුන් පදිංචි කරවීම අද බැරෑරුම්ව කථාබහට ලක්වන කාරණයක් බවට පත් වී ඇත.නමුත් පෘථිවියෙන් බැහැරව මිනිස් ජනිතයන් බිහිවීමේ හැකියාව තවදුරටත් ප්‍රශ්නාර්ථයක්ම වී ඇත.කොස්මික් විකිරණවල අධික බව (Cosmic radiation) පහත් ගුරුත්වාකර්ශණය(Specific gravity) හේතුවෙන් සරු ජනිතයන් බිහිවීම හෝ අසාමාන්‍ය (abnormal) කලල ඇති වීමට ඇති ඉඩකඩ වැඩි බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.



පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මාළු හා සැලමැන්ඩ්‍රාවන්ට අභ්‍යවකාශ යානා තුල සාමාන්‍යව ප්‍රජනන කෘත්‍ය ඉටු කල හැකි බව ඔප්පු වී ඇතත් ක්ෂීරපායීන්(mammals)  අතර දුර්වල භාවයක් පෙන්වයි.  1980  පමණ කාලයේදී කල අධ්‍යයන මඟින් පිරිමි මීයන්ගේ ශුක්‍රාණු නිපදවීම අභ්‍යවකාශයේදී අඩු බවත් නිපදවන ශුක්‍රාණුවල තත්වයට බලපෑමක් නොවූ බවත් තහවුරු වී ඇත.

මෑත කාලයේදී උක්ත කරුණ සම්බන්ධව Teruhiko Wakayama නම් ජපන් ජාතික විද්‍යාඥයා ඇතුළු පිරිසක් පර්යේෂණ සිදු කරන ලදී. ඔවුන් 2013 වසරේ දී අධිශීත විජලනයට ලක් කල (Freeze dried) මී ශුක්‍රාණු (මීයන් 12 දෙනෙකුගේ) ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) යවන ලදී.මෙම සාම්පල -950C ක උෂ්ණත්වයක අධිශීතකරණයක බහා මාස 9 ක් තබා නැවත නැවත පෘථිවිය වෙත එවන ලදී.

මෙසේ අධිශීතකරණ තුල බහා මාස 9 ක් අභ්‍යවකාශයේ  ISS තුල තිබූ ශුක්‍රාණු පෘථිවියට ගෙන ආ පසු මෙම විද්‍යාඥයන් විසින් එහි අඩංගු DNA පරීක්ෂාවට ලක් කරන ලදී.ISS හි කොස්මික් විකිරණ මට්ටම පෘථිවියේ මෙන් 100 ගුණයක් වැඩි අතර එයට හේතුව පෘථිවිය වටා ඇති වායුගෝලය හා චුම්භක ක්ෂේත්‍රය නොමැති වීමයි.එම DNA වල සියුම් වෙනස්වීම් සිදු වී තිබුණත් (කොස්මික් විකිරණවලට නිරාවරණය වීම නිසා) එම වෙනස් වීම් ඔවුන්ගේ සරුභාවයට හෝ ඉපදෙන ජීවියාගේ නීරෝගී බවටද බලපෑම් සිදු නොවුනි.මෙහිදී ඉහත තත්ව වලට මුහුණ දුන් ශුක්‍රාණු මඟින් බිහිවූ පැටවුන් හා එම තත්ව වලට මුහුණ නොදුන් අය අතර සැලකිය යුතු උපත් වේගයේ  වෙනසක් සිදු නොවුනි. බිහිවූ පැටවුන් නීරෝගී අතරම ඔවුන්ගේ DNA අනුපිළිවෙල ද සැලකිය යුතු අක්‍රමවත් බවක් නොමැති බව තහවුරු විය.

මෙමඟින් තවත් දෙයක් තහවුරු වූ බව කිව යුතුය.එනම් විකිරණ වලින් සිදු වූ යම් කිසි damage එකක් ශුක්‍රාණුවන් හා ඩිම්බයන් එකතු වී කලලයන් සෑදීම මඟින් අළුත්වැඩියා වීමක් සිදුවන බවයි.Wyrobelc මහතා පවසන්නේ ක්ෂීරපායී ඩිම්බවලට හානි වූ DNA ප්‍රතිසංස්කරණ කර ගැනීමේ ප්‍රබල හැකියාවක් ඇති බවයි. එය පිරිමින්  කරන ලද අඩුපාඩු ගැහැණුන් විසින් නිවැරදි කිරීමට සමාන බව ඔහු හාස්‍ය උපදවන අයුරින් පවසයි.
අභ්‍යවකාශ විකිරණ මඟින් බලපෑමක් ඇතිවන්නේ ශුක්‍රාණුවලට පමණක් නොවේ.ශුක්‍රාණු ඩිම්බ සංයෝජනය වූ කලලයට ද එම බලපෑම ඇති වේ. Wakayama ගේ කණ්ඩායම අධිශීත කල මී කලලද ISS වෙත යැවීමට අනුමැතිය ලබාගෙන ඇත.අභ්‍යවකාශගාමීන් විසින් එම කලල පරිණතියට පත්වන තුරු ආරක්ෂ කිරීම සිදු කරනු ලැබේ.එම කලල පරිණත වූ පසු  පෘථිවිය වෙත එවීම අපේක්ෂා කෙරේ.ඉන් පසු පෘථිවියට එවන ලද වැඩුනු කලල ස්ත්‍රී මීයන්ගේ ගර්භාශය තුල තැන්පත් කර නීරෝගී පැටවුන් බිහිවීම සිදුවූයේ දැයි පරීක්ෂා කර බැලීම සිදු කරීමට අපේක්ෂිතය.

එම පරීක්ෂණය මඟින් කලලයේ මුල් අවධියේ දී අඩු ගුරුත්වාකර්ශනය මඟින් සිදුවන බලපෑම කලලයේ පැවැත්මට කරන බලපෑම නිරීක්ෂණය කිරීම අරමුණයි.මීට පෙර සිදු කරන අධ්‍යයනයන්ට අනුව මීයන් හා Zebra fish මාළු කලල හොඳින් වර්ධනය වීම පෘථිවියේ ගුරුත්වාකර්ශනය අඩු පාරිසරික. තත්ව වලදී සිදු නොවූ බව තහවුරු වී ඇත.මෙමඟින් පැහැදිලි වන තවත් කරුණක් වන්නේ අභ්‍යවකාශයේ විකිරණ බහුල ප්‍රදේශයන්හි කලල වර්ධනය සිදුවූවත් ඔවුන්ගේ වර්ධනය අඩු ගුරුත්වාකර්ශනයකදී සිදු නොවන බවයි.නමුත් මෙය හරියටම තහවුරු කර ගැනීමට අභ්‍යවකාශය තුල පරීක්ෂණාත්මකව අත්හදා බැලීම කල යුතුය.තවද අභ්‍යවකාශය තුලට රැගෙන ගොස් එහිදී (ISS හිදී ) ප්‍රජනනය සිදු කර අත්හදා බැලීමට අදහස් කෙරේ.එමඟින් ඇත්තටම මිනිසුන් අතර අභ්‍යවකාශය තුලදී දරු පිලිසිඳ ගැනීමක් සිදුවේදැයි පිළිබඳව නිඟමනයක් ගත හැකිවනු ඇත.නමුත් දැනට කවුරුවත් එම අත්හදා බැලීම කර  නොමැත.

New Scientist සඟරාව ඇසුරෙන්

0 comments:

Post a Comment