December 8, 2017

න්‍යෂ්ටික අපද්‍රව්‍ය යනු මොනවාද? (Nuclear Waste)

න්‍යෂ්ටික අපද්‍රව්‍ය යනු මොනවාද?  (Nuclear Waste)
න්‍යෂ්ටික අපද්‍රව්‍ය යනු විද්‍යාත්මක , වෛද්‍ය හා කාර්මික ක්‍රමවේද වලදී භාවිතා වන විකිරණශීලී ද්‍රව්‍ය මගින් පිටවන අපද්‍රව්‍ය වේ. මෙම අපද්‍රව්‍ය තුල විකිරණ ලෙසින් ශක්තිය මුක්ත කරමින් ක්ෂය වන මුලද්‍රව්‍ය කොටස්ද විකිරණ නියුක්ලයිඩ ලෙසින් අඩංගු විය හැක.අතීතයේදී (දෙවන ලෝක යුද්ධය දක්වාම) න්‍යෂ්ටික අපද්‍රව්‍ය පරිසරයට එක්වු ප්‍රධාන මාර්ගය වූයේ යුධමය අවි ආයුධ නිෂ්පාදනයයි.
නමුත් වර්තමානයේදී විවිධ පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය, වෛද්‍ය කටයුතු, විදුලි ජනනය, විවිධ කැනීම් කටයුතු, ජෛවීය හා රසායනික පර්යේෂණ හා අවශේෂ කාර්මික ක්ෂේත්‍ර මගින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය එක්වේ.
විකිරණ නියුක්ලයිඩ ක්ෂයවීමේදී සිදුවන්නේ එහි අඩංගු අමතර ශක්තිය පිටවීමයි. විකිරණ නියුක්ලයිඩ සදහා විවිධ අර්ධ ආයු කාල ඇත.අර්ධ ආයු කාලය යනු විකිරණ ශීලී ද්‍රව්‍යයක් සිය ප්‍රමාණයෙන් භාගයක් දක්වා ක්ෂයවීමට ගන්නාවු කාලයයි.මේ කාලය තත්පර ගණන්වල සිට වසර මිලියන ගණන් තෙක් දිවයයි. න්‍යෂ්ටික අපද්‍රව්‍ය වලට විවිධ භෞතික හා රසායනික ගුණ තිබිය හැක. ඒවා ඝන,ද්‍රව හෝ වායු විය හැක. රසායනික ව්‍යුහයද විවිධාකාර වේ.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ වර්ගීකරණයට අනුව මේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කාණ්ඩ 6කට බෙදා වෙන් කරනු ලබයි.
                                   i.      ඉතා කෙටි ආයුකාලයක් සහිත අපද්‍රව්‍ය (Very Short Lived Waste)
                                 ii.      ඉතා අඩු මට්ටමේ අපද්‍රව්‍ය (Very Low Level Waste)
                               iii.      අඩුමට්ටම් අපද්‍රව්‍ය (Low Level Waste)
                                iv.      අතරමැදි මට්ටමේ අපද්‍රව්‍ය
                                  v.      අධි මට්ටමේ අපද්‍රව්‍ය
                                vi.      අභාවිත මුද්‍රා තැබු විකිරණශීලී ප්‍රභව.
විවිධ මට්ටම්වලට අනුව ඒවා බැහැර කරන ක්‍රමවේදය වෙනස්ය. න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණයේදී ප්‍රධාන පියවර කිහිපයකි.
                  I.            අදාල අපද්‍රව්‍ය එකතු කිරීම
                II.            ප්‍රවාහනය
              III.            පරිහරණය
              IV.            ගබඩාකරණය
                V.            අවසාන බැහැරකරණය
මෙම ක්‍රියාවලියේදී මහජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන අයුරින් කටයුතු කළ යුතුවේ. විකිරණශීලීතාව නිසා පිළිකා, උපත් දුර්වලතා සහ වෙනත් ශාරීරික විකෘතිතා හටගත හැකිය. විකිරණශීලී අපද්‍රව්‍ය බැහැර කිරීමට පෙර ඒවාට පිරියම් කිරීම සිදුකල යුතු වන අතර එහිදී අපද්‍රව්‍ය වල ලක්ෂණයන් වෙනස් කෙරේ.
විකිරණශීලි අපද්‍රව්‍ය බැහැර කිරීමේදී මතුවිය හැකි ගැටළු නම් හදිසි අවස්ථාවලදී ඒවා පරිසරයට නිරාවරණය වීම, මතුපිටට නොපෙනෙන විකිරණශිලිත්වය සහිත අබලි ද්‍රව්‍ය ලෙස විකුණා දමා යළි සාමාන්‍ය භාවිතයට ගැනීම, ප්‍රවාහනයේදී ඇතිවිය හැකි ආපදාවන්, සෞඛ්‍යමය බලපෑම් හා මේ සදහා දැරිය යුතු වියදම ආදිය වේ. ගැටළු මෙසේ පැවතියද දිනෙන් දින අපද්‍රව්‍ය ලෙස එකතු වන විකිරණශීලී ප්‍රමාණය අධික බැවින් ඒ සදහා නිසි විසදුමක් සොයා ගැනීමට උනන්දුවීම වැදගත්වේ.

උපුටා ගැනීම- පොත් සහ අන්තර්ජාලය ඇසුරිනි

J.M.A.S. ජයලත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී

විදාතා සම්පත් මධ්‍යස්ථනය - කුණ්ඩසාලේ

0 comments:

Post a Comment