January 16, 2018

බිම්මල උද්භිද විද්‍යාත්මකව හදුනාගනිමු.

ශාක වර්ගීකරණයට අනුව බිම්මල අයත් වනුයේ දිලීර Fungi හෙවත් Mycetea රාජධානියටය. උසස් ශාක වලට තම ආහාර නිෂ්පාදනය සදහා හරිතපද්‍ර පවතී. නමුත් මෙම Mycetea රාජධානියේ දිලීරවලට හරිතපද්‍ර නොමැති බැවින් ආහාර නිපදවා ගැනීමට නොහැක. ඒ නිසා ඔවුන් තම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට වෙනත් අයෙකු මත ලැබේ. මෙසේ ජීවී අයෙකු මත යැපීම පරපෝෂීතාව ලෙසත් අජීවී උපස්තර මත යැපීම මෘතෝපජීවීතාව ලෙසත් හැදින්වේ. අප දන්නා දිලීර වලින් 99.9% ක්ම මෘතෝපජීවීවේ. ඔවුන් බොහෝවිට දිරායන සෙලියුලෝස් උපස්ථර වන ශාක‍ කදන්, පිදුරු හා ලී කුඩු මත ජීවත්වේ. 
දිලීර, තම වර්ගයා ප්‍රචාරණය කර ගැනීමට අනුගමනය කරන ප්‍රජනන ක්‍රියාවලිය අනුව වර්ග දෙකකට බෙදා දැක්විය හැකිය. වර්ගයා ප්‍රචාරණය සදහා ලිංගික ප්‍රජනන ක්‍රියාවලියෙන් බීජාණු සාදන දිලීර උසස් දිලීර ලෙසත් අලිංගික ප්‍රජනනය මගින් ප්‍රචාරණය කර ගන්නා දිලීර පහත් දිලීර ලෙසත් හදුන්වයි. බිම්මල් ලිංගික ප්‍රජනනය සිදු කරන උසස් දිලීර වලට අයත්වේ.
බිම්මල එසේත් නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරයේදී හත්ත ලෙස හදුන්වන ව්‍යුහය ලිංගික ප්‍රජනනය සිදු කරන උසස් දිලීර වල බීජ සාදන ව්‍යුහය එනම් ඵලාකරය$ බීජාණුකරය වේ. මෙසේ සලකන විට බිම්මලa යනු පියවි ඇසට පෙනෙන, අතින් නෙලාගත හැකි දිලීර වල ප්‍රජනක ව්‍යුහයන්ය.
මෙසේ Mycetea රාජධානියේ ඵලාකරය නැතිනම් බීජාණුකරය නම් ප්‍රජනක ව්‍යුහයන් නිපදවන දිලීර බැසිඩියෝමයිසිටීස් හා ඇස්කොමයිසිටීස් පංති Class වලට අයත්වේ. මේ අතරින් ආහාරයට ගන්නා දිලීර බොහොමයක් අයත් වනුයේ බැසිඩියෝමයිසිටීස් පංතියට Class හා ඇගරිකාලේස් වර්ගයට Order ය. මෙම ඝනයේ බිම්මල් මාංශල හා මාංශල නොවන ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. මෙම මාංශල බිම්මල් අතුරින් අප ආහාරයට ගන්නේ සමහර දිලීර ඝනයන් Genus පමණි.

ඇමරිකන් ඔයිස්ටර් බිම්මල් වල වර්ගීකරණය
Domain           - Eukarya
Kingdom         - Mycetea (Fungi)
Phylum            - Basidiomycota         
Class                - Basidiomycetes / Agaricomycetes
Order               - Agaricales
Family             - Pleurotaceae
Genus              - Pleurotus
Species            - Pleurotus ostreatus

(ඔයිස්ටර් බිම්මල් වගාව කෘතිය ඇසුරෙනි)

ජේ.සී. රාමනායක,
විද්‍යා තාක්ෂණ නිලධාරි,

පස්ගොඩ.

0 comments:

Post a Comment